මහින්ද මැතිඳුනි ඔබේ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න…

මහින්ද මැතිඳුනි ඔබගේ පාලන කාලය තුළ මෙන්ම ඔබගේ පරාජයෙන් පසුවත් ඔබ විසින් දේශපාලන සිරකරුවන් වශයෙන් විශාල පිරිසක් සිර කරගෙන සිටින බැව් මම දනිමි.ඔවුන්ගේ දෑතට,දෙපයට විලංගු දමා නැති බව සත්‍ය්යකි.නමුදු ඔවුන්ගේ මනසට දමා ඇති විලංගු ඊටත් වඩා දරුණු විදිහට ඔවුන්ගේ නිදහස සීමා කර ඇත.ඊටත් වඩා භයානක කාරණය නම් ඔවුන්ගේ නිදහස සීමා වීමෙන් ඔවුන් පමණක් නොව ඔබගේ සිරකරුවන් නොවන අයත් විඳවීමයි.එය මේ පරම්පරාවෙන් අවසන් වේ යැයි නොසිතන්න.එය ඉදිරි පරම්පරා ගනනාවකටත් උරුම වනු ඇත.ඔබේ දේශපාලන සිරකරුවන්හට අන් කිසිම කෙනෙක් කරන හොඳ දෙයක් කිසි ලෙසකින් වත් නොපෙනෙන අතර වැරදි නම් බොරුවටත් පෙනෙයි.ඒ අතර රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙමින් කොටි සංවිධානය නැගී සිටිනකම් බලා සිටින මොවුන්,දැන් දිගු කලක සිට විදේශයන්හි සිදුවන කොටි හිතවාදී ක්‍රියාකාරකම් අතිශෝක්තියට නංවමින් ඒවාට ප්‍රසිද්ධියක් ලබාදේ.රට තුල නැවතත් භීතිය,සැකය,අසහනය ගොඩනැංවීමට උත්සාහ දරමින් සිටියි.මොවුන් නොදැනුවත්වම මොවුන් මේ වැටී සිටින තත්වයෙන් මුදවා ගත හැක්කේ ඔබට පමණි.ඔබේ වචන වලින් වලින් ඔබට ඒ ආශ්චර්යය කළ හැකිය.ඔවුන්ගේ බැමි මුදාහළ හැකිය.ඔවුන්ට තමන්ගේ දෙනෙතින් බැලීමට,තමන්ගේ දෙකනෙන් ඇසීමට,තමන්ගේ මනසින් සිතා තමන්ගේ වචනයෙන් කතාකිරීමට නැවතත් හුරු කළ හැකිය. (මෛත්‍රී මැතිඳුන් ඒ සඳහා උත්සාහ කළත් ඔහුව පඹයෙක් මෙන් පෙනේ යැයි කියමින් මොවුන් ඔහුට ඇහුන්කන් දීමත් ප්‍රතික්ෂේප කරයි.) ඒ සඳහා කළ යුත්තේ ඔබ ඇත්ත ප්‍රකාශ කිරීම පමණි.
ඔබ පවසන්න ඔවුන්ට (ඔබේ දේශපාලන සිරකරුවන්ට )
ඔබ මල් වට්ටි වලට මුවාවී දැන් පංසල් යන්නේ පින් රැස් කරගන්නවත්,ඔවුන්ට ස්තූති කිරීමටවත් නොව,ඔවුන්ව රවටා නැවත මොන ආකාරයක හෝ තනතුරක් ලබාගැනීමේ බල ලෝඹ්හය නිසා බව.ඔවුන්ව අවශ්‍ය් බලය ලබාගන්න තෙක් පමණක් බව.ඔවුන්ට කළ ගුණ සැලකීම මතක් කරමින් 2010 බලය ලබාගත් පසුව මුලින්ම ඔබට යාවජීව ජනාධිපති තනතුරක් හදා ගැනීමට වෙහෙසුනා මිසක් ඔවුන් ගැන වෙහෙසුනේ නැති බව.වීරවංස ලව්වා 2010 ජනාධිපතිවරණය වෙලාවේ ජෙනරාල්ට ඡන්ද බලය නැති නිසා ඔහුට දෙන ඡන්දය වලංගු නැතැයි අමුම අමු බොරුවක් කීවේ බලලෝභීකම නිසාබව,මවලා පෙන්වන තරම් පෞර්ෂයක් ඔබට නැති නිසා බව.ජෙනරාල්ව ද්‍රෝහියෙක් කළේ අනාගත අභියෝගයක් නිසා බව.2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රී ලෙසටම හැඩගැන්වූ සිරිසේන කෙනෙක් සමඟ ඡන්දපළට ගියේ අවසන් මොහොතේදී හෝ ඔවුන් රැවටීමට බව.සජිත් පැතිමාරු කළායැයි රාජ්‍ය මාධ්‍ය වලින් ප්‍රකාශ කෙරෙව්වේත් ඒ සඳහා බව.ඔබ පවසාවියැයි කිසිවෙකු නොහිතූ වගකීම් විරහිත පහත් කතා ඡන්ද වේදිකාවල පැවසූයේ බල උමතුව නිසා බව.ශිරාණි මැතිනියගේ තනතුර අහිමි කළේ සහෝදරයාගේ පණතක් නිසාබව.කොළඹ නගරය ලස්සන කිරීමේ ව්‍යාපෘතිය සමඟම වේල්ලවීදිය කච්චේරියේ පැරැණි ඔප්පු සහිත ගොඩනැගිල්ල ගිනිගත්තේ අහම්බයෙන්මද නැද්ද කියන වග.ස්වාධීන කොමිෂන් සභා හකුලා දැමූයේ ඔවුන්ට ආදරේට නොවන වග.ඔබම ලඟකදි පැවසූ පරිදි ඔබ බලපෑම් කරමින් නිදහස් කළේ,දඩුවම් නොදුන්නේ තම පැලැන්තියේ අයට මිස ඔවුන්ගේ පැලන්තියේ අයට නොවන බව.තමන් අතේ බලය තිබෙද්දී වැරදි කරුවන්ට දඩුවම් නොකිරීම,ඔවුන්ව ආරක්ෂාකිරීම දුර්වල පෞර්ෂ ලක්ෂනයක් බව.අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ගැන කියමින් සිටියාට විදේශ තානාපති සේවයට නුසුදුස්සන් යොදවමින් දුර්වල වීම නිසා රටට ප්‍රශ්න රාශියකට මුහුන දීමට සිදුවූ බව.
මේ සඳහන් කළ ඇත්ත ස්වල්පය හැරුනුවිට ඔබට පැවසන්න ඇති ඇත්ත ඕනෙ තරම් ඇතිබව මගේ හැඟීමයි.රට වෙනුවෙන් විදුලි පුටුවට වුවත් යන්න ලෑස්ති වූ ඔබ රටේ අනාගතය වෙනුවෙන් මේ දේ කරන බව මගේ විශ්වාසයයි.
අපිට දැන් අවශ්‍ය වෙනස් දේශපාලන සංස්කෘතියක්.හරි දේට හරි යැයි කිවහැකි,වැරදි දේට වැරදියැයි කිවහැකි කොන්දක් සහිත නායකයින්ටත් වඩා වැදගත් වනුයේ සාමාන්‍ය ජනතාවක් බිහිවීමයි.එමනිසා රට මේ ලැබී ඇති අනර්ග අවස්ථාවේ ඔබ විසින් ඔබගේ දේශපාලන සිරකරුවනුත් නිදහස් කළහොත් අපි සැමට ඇත්තටම දියුණු සමාජයකට පියනැගිය හැකි වේවි.මේ රට ඔබේ වගේම අපගේත් රටයි.රට දියුණු වීමට හැමෝගෙන්ම ඉටුවිය යුතු යුතුකම් තිබේ.ඉතින් මම මගේ යුතුකම් ඉටුකරන අතර ඔබත් ඔබේ යුතුකම ඉටුකර ඔබේ පුත්‍රයන්ටත් දියුණු සමාජයක ජීවත් වීමේ අවස්ථාව ලබා දේ යැයි විශ්වාස කරමි.
මහින්ද මැතිඳුනි ඔබේ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න…

Posted in Uncategorized | ප්‍රතිචාර 2

යුද්ධය ඉවරයි.අපි දැන් සුවපත්ද?….

මේ අපි හැමෝම මේ රටේ තිබ්බ කුරිරු ත්රස්තවාදී යුද්ධය අවසන් කිරීම ගැන කතා කරන වෙලාවක්.ඇත්තම කිව්වොත් අපි බොහෝ දෙනෙකුට මේ යුද්ධය ගැන හිතෙන අවුරුද්දේ තියෙනෙ එකම දවස් ටික වෙන්නත් පුළුවන්.එහෙම හිතෙන එකත් බොහොම සාධාරණයි.අපි කවුරුත් කැමති නැහැ අප්රසන්න දේවල් මතක් කරන්න.ඇත්තටම මේ රටේ තිබ්බ යුද්ධය කොයිතරම් කුරුරුද,දරුණුද කියන එක අපිට කවුරුත් ආයෙම කියලා දෙන්න ඕනි නැහැ. යුද්ධය අපි හැමෝවම එක් එක් මට්ටමෙන් වෙලා ගත්තා.අපිට නොතේරෙන්නම අපේ මනුෂ්යත්ව ගතිගුණ හීන කෙරෙව්වා,ඈත් කළා.යුද්ධෙ ඹ්හෞතිකව ඉවරවෙලා වසර 6ක් ගතවෙලා ඉවරයි.මානසිකව අපේ යුද්ධෙ ඉවරද?
මේ රටේ අන් හැම දෙයකටම වගේම මේ කුරිරු ත්රස්තවාදී යුද්ධෙටත් මුල් වුනේ අධම,බලලෝභී දේශපාලනයමයි.සිංහල මිනිස්සුන්ව සිංහලෙන්,දෙමළ/මුස්ලිම් මිනිස්සුන්ව දෙමළෙන් බොරු පොරොන්දු දීමෙන් මොවුන්ව එකිනෙකා හා කොටවමින් මේ දේශපාලකයෝ යහමින් ඡන්දේ දිනාගනිමින් සැප විදිනවා.ඒක එදා ඉඳලා අද දක්වාම එහෙමයි.රටේ අවාසනාවට බහුතරයක් මේ සත්යය එක්කො පිළිගන්නේ නෑ,එහෙම නැත්නම් තමන්ගේ වාසියට ඒක අමත්ක කරලා දානවා.අපි හොඳාකාරවම දන්නවා දෙමළ මිනිස්සුන්ට වෙනම රටක් ලබා ගත හැකියි කියලා ඔවුන්ව ඒකට පෙළඹෙව්වේ හෝ ඔවුන් තරම් දෙයක් කරනකම් නිෂ්ක්රීය වෙලා හිටියෙ සාමාන්ය් මිනිස්සු වෙච්චි අපිවත්,අපේ දෙමව්පියන්වත් නෙමේ අධම දේශපාලකයින් කියලා.කොහොම හරි අන්තිමට අප්රමාණ කැපකිරීම්,රුධිර ගැලීම් මත්තෙන් මේ යුද්ධය ඉවරවුනා රට වගේම රටේ මිනිස්සුන්වත් විනාශ කරමින්. අත්දැකීම් ආයෙම කාටවත් අත් නොදැකිය යුතුයි කියන එකයි මගේ පැතුම.අපි හැමෝගෙම පැතුම වෙන්න ඕනිත් ඒකම නේද?අපි ලබන අත්දැකීම් වලින් පාඩම් ඉගෙනගෙන ආයෙමත් එකම දේ නොවෙන්න වගබලා ගන්න එක නේද විය යුත්තේ?
මේ රටේ වුනත්,වෙන රටක වුනත් යුද්ධයකින් සිදුවන්නේ විනාශයක්මයි.ඒක වළක්වා ගන්න පුළුවන් වෙන එකයි මේ වගේ කුරිරු යුද්ධයකින් බැට කාපු අපි වගේ රටක මිනිස්සු ප්රාර්ථනා කළ යුත්තේ,පෙළ ගැසිය යුත්තේ,අමන දේශපාලකයින්ට මතක් කළ යුත්තේ.අන්න පැතුම අපි හැමෝගෙම හිත් වලට එන දවසට තමා අපි ඇත්තටම යුද්ධෙ දිනුවා වෙන්නේ.

මනුෂයත්වය අගයන සමාජයක් බිහිකරමු.

Posted in Uncategorized | ප්‍රතිචාරයක් ලබාදෙන්න

දේශපාලන මිථ්‍යා මත දුරලමු.සුන්දර රටක් වෙනුවෙන් එක්වෙමු.

ඉතා තීරණාත්මක ජනාධිපතිවරණයකින් පසුව තමත් ගෙවිලා තියෙන්නේ මාස හතරක් වැනි ඉතා කෙටි කාලයක් විතරයි.ඒත් සමාජ වෙබ් අඩවිවල අපි අපිම බෙදා ගන්න තොරතුරු දැක්කහම හිතෙන්නේ හුඟක් කාලය ගතවෙලා වගෙයි.ඇත්තටම ඒකට හේතු මොනාද?බහුතර කැමැත්තෙන් මෛත්‍රී දිනුවේ මිනිස්සුන්ට ගොඩාක් බලපොරොත්තු එක්ක.මිනිස්සු ඉවසල ඉවසලා බැරිම තැන මහින්දව පරාජය කරලා ඒවෙලාවේ තිබ්බ හොදම විකල්පය වෙච්ච මෛත්‍රීව දිනෙව්වා වගේම රට හොඳ මාර්ගයට යොමුකිරීමේ නොඉවසිලිමත් බාවයෙන් ඉන්නේ.ඒකයි මේ කාලය මේ තරම් ගිහින් කියලා හිතෙන්නේ.දශක ගණනාවක් තිස්සේ ජරාජීර්න වෙච්ච අපේ රටේ දේශ්පාලනය ප්‍රාතිහාර්යකින් වගේ එක පාරටම හොඳ දියුණු තලයකට පත්වෙන්නේ නෑ කියන එක අපි දැනගන්න ඕනි.අපි හමෝම දන්නවා දේශපාලුවන්ට වඩා මේ රටේ ජනතාවගෙන් බහුතරය බුද්ධිමත් කියලා.ඒනිසා අපි දැනගන්න ඕනි අපේ බුද්ධිය හොඳින් පාවිච්චි කරන්න.තව මාස කීපයකින් පාර්ලිමේන්තුවට යවන මන්ත්‍රීවරු තොරන්න අපිට අවස්තාව ලැබෙනවනේ.අන්න ඒකෙදි අපි හොඳ තීරනයක් ගන්න ඕනි.තමන් කැමති පක්ෂෙට ඡන්දෙ දෙන එක තමන්ගේ අයිතිය.ඒ වුනත් අපි දැනගන්න ඕනි බලලොභී,දුෂිත,මෝඩ,අධම පින්බත්තු ටිකක් අපේ සහ අපේ අනාගත පරපුර වෙනුවෙන් තීරණ ගන්න පාර්ලිමේන්තුවට යවනවද නැත්තම් හොඳයැයි විශ්වාස කළහැකි අලුත් පිරිසක් යවනවද කියන එක.(මේකෙදි අපිට වරදින්නත් පුලුවන්,මොකද කොකාගේ සුද දකින්න පුළුවන් ඉගිලෙන කොටනේ. ) ඒත් අපිට දැන් පාර්ලිමේන්තුවේ ඉන්න පිරිසෙන් ලැජ්ජ නැතුව ආයේපාරක් තෝරලා යවන්න පුළුවන් මන්ත්‍රීලා දහයක්වත් ඉන්නවද කියලා හිතලා බලන්න.එක්කො උන්ට දූෂණ චෝදනා(ඔප්පු වුනත් නැත්තත් අපි දන්නවනේ අපේ ප්‍රදේශයේ මන්ත්‍රීලා ගැන) ,එක්කො දැන් වයස වැඩියි,එක්කො කිසි උගත්කමක් නැති මෝඩයෝ,මැරයෝ,එක්කො පාර්ලිමෙන්තුවේ කතාවක් වත් කරන්නේ නැති කිසිම වැඩකට නැති කම්මැලියෝ,එක්කො වාචාලකම විතරක් තියෙන නිකම්මු.ඉතින් අපි අපිම හිතලා බලමු නේද මුන්ගෙන් කාටවත් වැඩක් තියෙනවද කියලා. ඒනිසා අපි එක හොඳට තේරුම් අරන් හොඳ තීරණයක් ගමු.මෙහෙම තීරණයක් ගන්න බාධාවෙන දේශපාලකයින් ගැන අපෙ තියෙන මිත්‍යා මත කිහිපයක් දැන් විමසා බලමු.
1.අපි දේශපාලකයින්ට ණයගැතිය.
සම්පූර්ණ වැරදි අදහසකි.ඔවුන් කරන්නේත් අපි බහුතරය වගේම රැකියාවකි,සේවා සැපයීමකි.ඔවුන්ව අපේ බදු ආදායම් වලින් නඩත්තු කරනුයේ ඒ ඒ කාරයය්න් කිරීමටය.හැම මන්ත්‍රීකෙනෙකුටම ආණ්ඩුව විසින් මුදල් වෙන් කරනුයේ තමන්ගේ ප්‍රදේශයට වියදම් කිරීමටයි.ඔවුන් ඡන්ද හිගාකෑමේදී ඔවුන් කිරීමට අදහස් කරන් සිටින දේවල් අපිට පවසන අතර ඒව සලකා බලා අපි ඡන්දය භාවිතා කන්නෙමු.ඔවුන් ඒ දේ කළාවුවත් එතනින් ඒ ගනුදෙනුව අවසානය.ඊළඟ වාරයේදී ඒ කළදේ මත යම් විශ්වාසයක් ගොඩනැංවුනද ඡන්දය භාවිතා කළ යුත්තේ කිරීමට සිටින දෙය මතයි.මොකද අපි ඔවුනට ලබාදෙනුයේ ඉදිරියට අපි වෙනුවෙන් තීරණය ගැනීමේ බලයයි.සුදුසුකම් තියෙන අයටත් රැකියා ගන්න මුන් ගාවට යන්න වෙලා තියෙන්න මුන්ට නැති බලයක් අපි විසින්ම ආරෝපනය කරන ලද හෙයින්මයි.අපේ රටේ තියෙන රැකියා අපිට ලැබෙන්න ඕනි තමා.නැතුව එකට වෙන රටවල් වලින් ගෙනත් දාන්නයැ?අතීතයේදී ලියපදිංචි තැපෑලෙන් ගෙදරටම ආපු රජයේ පත්වීම් ලිපි මෑතකාලයේදී ලොකු රැස්වීමක් තියලා,මිනිස්සු රස්තියාදු කරවලා දේශපාලකයින් අතින් දෙන්නේ බොරු බලයක් මවපාන්න විතරයි.
එබැවින් ඔය “කළගුණ සලකමු” වැනි අපේ සංස්කෘතිය හා බැදුනු ශ්‍රේෂ්ඨ ගතිගුණ මේ අධම දේශපාලනයට කිසිසේත්ම අදාල නොවේ.
2.mඅන්ත්‍රී/ඇමති හැදින්වීමට ගරු වචනය භාවිතා කළ යුතුයි.
සම්පූර්ණ වැරදි අදහසකි.ගරු යනුවෙන් අදහස් කරනුයේ කිසිම මූල්‍ය්මය අදායමක් ලැබීමෙන් තොරව යම්කිසි ක්‍රියාවක් කිරීමට දායක වීමයි.මොවුන් ලබාගන්නා පඩි,දීමනා ආදිය සලකා බලනකොට මොවුන් ගරු වන්නේ කෙලෙසද?
3.උතුරු පළාත් සභාවට ඉඩම්,පොලිස් බලතල නොදිය යුතුයි.
හරි,උතුරු පළාත් සභාවට පමණක් නොව කිසිම පළාත් සභාවකට මෙම බලතල නොදිය යුතුයි.මොකද අපි හොඳාකරවම දන්නවනේ මේ බලතල නැතුවත් අපේ පළාත්වලත් මහඇමතියි ගෝලයොයි හැසිරෙන විදිහ.ජාතිය,ආගම කුමක් වුවත් දේශපාලකයා දේශපාලකයමයි.ඔවුන්ගේ ජඩ වැඩ වල මේවයින් ස්වායක්තයි.ඉතින් පනින රිලවුන්ට ඉනිමන් දෙනවද?

මම මෙතන සඳහන් කළේ ඉතාමත් සුළු කරුණු කීපයක් පමණයි.තව ඔඅනෙ තරම් කරුණු ඇති.අපි කැමති දේශපාලන පක්ෂය මොකක් වුනත් අපි තේරුම්කරගන්න ඔනේ දේවල් ගොඩක් තියෙනවා.
මේ රටට වැඩියෙන්ම විදේශ ආදායම් ලැබෙන්නේ අපිව යටත්කරන් හිටිය විදේශිකයින් වවලා ගියපු තේ හා රබර්වලින්,ඉබේ වැවුන පොල් වලින්,මැදපෙරදිගට කාන්තාවන් වහල් සේවයට පිටත්කිරීමෙන් හා ඇඟලුම් කර්මාන්ත වලින් කියලා.මේ රටේ දේශපාලකින් විසින් රට පත් කරලා තියෙන තැන ඔතනයි.හැමදාම ශ්‍රේෂ්ඨ ඉතිහාසය ගැන කිය කිය ඉඳලා වැඩක් නැහැ.ඒ ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගෙන අපේ වර්තමානයත්,අනාගතයත් දියුණු කරගන්න ඕනි.මේ රට දේශපාලකයින්ගෙ විතරක් නෙමෙයි.අපි හැමෝගෙම රට.අපේ වගකීම අපි ඉටු නොකරර ඉඳලා අනිත් අයට බැනලා වැඩක් නැහැ.ප්‍රාතිහාර්යයකින් වගේ එක් වරම සියල්ල වෙනස් නොවුනට අපි කලබල නොවී රට දියුණු කිරීමට පෙළගැසෙමු.
අපි අද බුද්ධිමත්ව තීරණය කළොත් හෙට දවසේ සුන්දර රටක ජීවත් වෙන්න පුළුවන්.

Martin Luther King Jr. — ‘If you can’t fly then run, if you can’t run then walk, if you
can’t walk then crawl, but whatever you do you have to keep moving forward…’

Posted in Uncategorized | ප්‍රතිචාර 3

මහින්ද පරාජය,ගෝරා,PK හා මනුෂ්‍යත්වය

මේ දවස්වල අහන්න,දකින්න,අත්දකින්න ලැබිච්ච දේවල තුනක් ගැන ලියන්න තමයි මම මේ සූදානම් වෙන්නේ.මුලින්ම දැක්කහම මේ තුනේ(මහින්ද පරාජය,ගෝරා,PK ) සම්භන්දයක් තියෙනවද කියලා කියවන අයට ප්‍රශ්නයක් එන්න පුළුවන්.ඒ වගේම මේ තුනෙන් පළවෙනි එක සහ තුන්වෙනි ඒවා ගැන නම් හැමෝම වගේ දන්නවානේ.ඒත් මම ආයෙම කියන්නම්.
මහින්ද පරාජය – දේශපාලන සිද්ධියක්
ගෝරා – නවකතාවක්.රවින්ද්‍රනාත් ඨාකූර් ශූරීන් විසින් 1908 දී පමණ ලියන ලද නවකතාවක්.ඒ නවකතාව චින්තා ලක්ෂ්මි සිංහ ආරචිචි මහත්මිය විසින් වංග භාශාවෙන් සිංහලට  පරිවර්තනය කරලා තියෙනවා.(1998)
PK – හින්දි චිත්‍රපටයක්.මේ දිනවල අතිසාර්ථක ලෙස ලෝකෙ පුරාම ප්‍රදර්ශනය වෙන රාජ්කුමාර් හිරානිගේ චිත්‍රපටයක්.

හරි දන් හැමෝම මේ ගැන යම් තරමකට හරි දැනුවත් වුනානේ.(වැඩි දැනුමක් හොයාගෙන යාම තමන්ට බාරයි.) එකිනෙකට නොගැලපෙනවා වගේ බැලූ බැල්මට පෙනුනත් මේ අවස්ථා තුනෙන්ම මම ලබාගත්ත පාඩමක් තමයි මාතෘකාවේ අන්තිමට සඳන් කරලා තියෙන්නේ.ඒ කියන්නේ අපිට උපතින්ම ලැබිලා තියෙන,ඒත් අපිට නිතරම අමතකවෙන මනුෂ්‍යත්වය.අපි මොන විදිහට බෙදිලා වෙන් කරගන්න දැගලුවත් අපි මනුෂ්‍යයෝ කියන එක අපි අමතක කරන්න හොඳ නැහැ.මනුෂ්‍යත්වයට ඉහළින් ජාති,ආගම්,කුල භේද තියෙන්න බැහැ කියන එක.
මහින්දගේ පරාජයට හේතුවෙච්ච එක දෙයක් තමයි මිනිස්සු ආගම්,ජාතීන් වශයෙන් බෙදලා වෙන්කරලා,ඒ බෙදීම මනුෂ‍යත්වයට වඩා ඉහළ තත්වයකට පත් කරන්න උත්සාහ කිරීම.තවත් හේතුවක් තමයි දෙවිවරුන් ගෙන් උදව් උපකාර පතනවා කියලා බොරු කාරයින්ට අහුවීම.(මම බෞද්ධයෙක් වශයෙන් දෙවි පිහිට පැතීම අනුමත  නොකරනමුත් තමන්ගේ කැමැත්ත අනුව එසේ කරනවුන් හෙළා නොදකිමි ).ඔබ PK නැරඹුවානම් මේයට හොඳ පිළිතුරක් එහි අඩංගු වෙන බවට ඔබත් එකඟ වෙනු ඇත.ඉන්දියාවේ මිනිසුන්ගේ දෙවියන් කෙරෙහි ඇති භක්තිය අයථා අන්දමින් භාවිතා කරන හැටි එයින් හොඳින් පැහැදිලි වෙයි.ඔබට ගෝරා නවකතාව කියවන්නට ලැබුනහොත් බලන්න සියවසකට පමණ කලින් ලියා ඇති නවකාථාවක වුවත් ආගම් වලින් බෙදීමට තැත් දර මිනිසුන්ට ලබාදෙන පණිවිඩයේ ගැඹුර කොතරම්ද කියා.දැඩි හින්දු භක්තිකයෙක් වීමට උත්සාහ දරන ගෝරාගේ දෙමව්පියන්ගේ ජාතිය,ආගම කුමක්ද කියලා.
මම කියන්න උත්සාහ දරනුයේ එකම දෙයකි.එනම් අපි මනුෂ්‍යත්වය උතුම් කොට සළකමු.අන් අයට ගෞරව කරමු.අන් අයගේ ආගමික විශ්වාස,ජාතිය ආදියට නිගානොකරමු.අපිට අපේ දේවල් වටිනවා වගේම අන් අයටත් ඔවුන්ගේ එවා වටින බව තේරුම්ගනිමු.අපි දියුණු වෙමු.දියුණු සමාජයක්,රටක් ගොඩනැංවීමට අපි හැම දෙනාම එක්වෙමු.
අපි අපේ රටට හදවතින්,බුද්ධියෙන්ම ආදරය කරමු,අපෙන් විය යුතු යුතුකම් ඉෂ්ට කරමු.

Posted in Uncategorized | ප්‍රතිචාරයක් ලබාදෙන්න

විනයක් නැති රටක්ද?

අපි හුඟ දෙනෙක් කතාකරනවා මේක විනයක් නැති රටක් කියලා.දවස ගානේ ජනමාධ්‍ය වලින් වාර්තා වෙන අපරාධ දැක්කහම මේවා කිව්වට ඇත්තටම අපේ එදිනෙදා  ජීවිතේදි කරන දේවලදිත් මේ විනය නැතිවෙන දේවල් වෙනවා ඕනි තරම්.
ඒකට හොඳම උදාහරණයක් බලාගන්න පුළුවන් පිටකොටුවේ මගීන්ට මාරුවෙන්න තියෙන පදික මාරුවීම්වලදි මිනිස්සු වර්ණ සංඥා නොසැලකීම දිහා බලපුවහම.ඒනිසාම දැන් ඒතැන්වලට පොලිස් නිළධාරීන් දාන්නත් වෙලා.
අපිත් ඒ වැරැද්ද කරන මිනිස්සු සමූහයට අයිති නොවී ඉමු නේද?

Posted in Uncategorized | එක් ප්‍රතිචාරයක්

නව වසරේ මගේ පැතුම!

වචනයෙන් නොව ක්‍රියාවෙන්ම නිදහස්ව,නිවහල්ව,ස්වාධීනව ක්‍රියා කරමින් කාටවත් කරදරයක් නොවී,තමන්ගේ වැඩ තමන්ම කරගනිමින්, අනෙකාට තනියම කරගැනීමට නොහැකි දේ වලදි පමණක් උදව් දෙමින්,පරිසරය හා බද්ධවෙමින් මේ වසර හොදින් ගතකරමු.

Posted in Uncategorized | ප්‍රතිචාරයක් ලබාදෙන්න

කාගෙද මේ ඡන්ද අයිතිය?කාටද ඕනි?…

ආයෙමත් ඡන්දයක්..ආයෙමත් දන්සැල්..ආයෙමත් පෝස්ටර් තරඟ..ආයෙමත් බොරු පොරොන්දු..ආයෙමත් වාචාල කතා..ආයෙමත් මෝඩ අමන වැඩ..ආයෙමත් ගෙවල්ගානේ ඇවිත් කරදර කර කර මනාප හිඟාකෑමක්..
ඇත්තටම අපේඅ රටේ දැන් ඡන්දයක් ගැන දැනුම් දුන්න ගමන් අපෙ ඔළුවට එන්නෙ ඔහොම අදහස් ටිකක්නේ.ඒ ඇර මේකේ ඇති වැදගත්කමක් අපිට නෑ ඇත්තටම හිතලා බලනකොට.අන්න එතකොට තමයි මට හිතෙන්නේ අනේ අපේ මේ ඡන්ද දායකකම මොන තරම් කරදරයක්ද කියලා.බහුතරයකටම දැනෙන්නේ මෙහෙමයි කියලයි මට හිතෙන්නේ.මේ රටේ දේශපාලනය දැන් කතාකරන්න නොහිතෙන තරමට අප්‍රසන්න, ජරාජීර්ණ තත්වයකට පත්වෙලා තියෙන එකේ මේ ඡන්දදායකකමෙන් අපි කරන්නෙත් ඒ ජරාජීර්ණ පද්ධතිය පවත්වාගැනීමට රුකුල් දීමක් කියලයි මට හිතෙන්නේ.වැරැද්දකට නිහඩවම උදව් දීමක් වගෙයි.(අනිත් එක අපි මොකක් හරි පක්ෂෙක පුද්ගලයෙකුට මනාපය පළ කලාට ඒ පුද්ගලයා ඒ පක්ෂය තුලම ඉදියි කියන එකත් කාටද විශ්වාස? )
ඒහින්දා මට නම් හිතෙන්නේ අපේ ඡන්ද අයිතිය ආපහු අරන් තමන්ට ඡන්ද අයිතියක් තිබිය යුතුයි කියලා හිතෙන අයට විතරක් ලියාපදිංචි වෙන්න කිව්වනම් හරි කියලයි.දැන් අපි ඔක්කොම ලියාපදිංචි වෙන්නෙ අපේ පදිංචිය තහවුරු කරගන්නත් ඡන්ද ලේඛනයේ නම තිබිය යුතු නිසානේ.අන්න ඒ තත්වය වෙනස් කරොත් අපිටත් ලේසියි,ඡන්ද අපේක්ෂකයන්ටත් ලෙසියි.මොකද එතකොට තමන්ගේ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි වෙච්ච අයට විතරනේ ප්‍රචාරණය අවශ්‍ය වෙන්නෙත්.කොඉ තරම් නම් මුදලක් ඉතුරු වෙයිද?ඊළඟ පියවර විදිහට පුළුවන් ඒ ලියාපදිංචි වෙච්ච දායකයන්ගෙ ගණනට අනුපාතවෙන්න මන්ත්‍රී,ඇමතිකම් ගණන හදාගන්න හැම මට්ටමකම.ඒ පත්වෙච්ච අය නඩත්තු කරන්න පුළුවන් ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් ලබාගන්න බදු මුදල් වලින්.(මොන පක්ශෙන් පත්වුනත් ).එහෙම බදු එකතුකරන්න අමාරුනම් ලියාපදිංචි වෙන්න අවුරුද්දකට (ඒ පත්කරනවුන් නඩත්තුවට ප්‍රමාණවත්) මුදලක් අයකරන්න.එතකොට අනෙකුත් සාමාන්‍ය මිනිස්සුන්ගේ බදු මුදලින් පුළුවන් අනෙකුත් සේවා සපයන ආයතන නඩත්තු කරන්න.කොටින්ම කියනවනම් මම අදහස්කරන්නේ ලියාපදිංචි ඡන්දදායකයින් ආණ්ඩු නඩත්තු කරනවා,අනෙකුත් සාමාන්‍ය මිනිස්සු රජ‍ය නඩත්තු කරනවා.හැබැයි ඒ වගේම තමයි ආණ්ඩුවට පත්වෙන අය ඒ අය කැමති දේවල් කර කර,කියෝ කියෝ හිටියට රාජ්‍යකටයුතුවලට ඇඟිලි ගහන්නත් බැරිවෙන්න කටයුතු යොදන්න ඕනි.
අන්න එහෙම කළොත් මට හිතෙන්නේ අපිට මේ දේශපාලකයින් කියන අමුතු සත්ත්ව කොට්ඨාශයෙන් බේරිලා අපේ වැඩක් කරගෙන  අපේ පාඩුවේ හොඳින් ජීවත්වෙන්න පුළුවන් වෙයි.

දැනේ තවදුරටත්
ගෙන යා නොහැකි බව
අපේ මේ සබැදියාව
දිගුකල් පුරා පැවතුන

නොහැක දැන්නම් නුබහට
සනසන්නට පෙරලෙස
බොළද පොරොන්දු වලින්
කඩකරනා නිසාවෙන්ම නිති

දනිමි මම හොදටම
අවැසි තැනට යන්නට
පමණක් ළංකරගත් බව
රවටා මුලු සිතම

බිදී ඇත විශ්වාසය
කිසිදින නොනැංවෙන්නම
අමතක වෙන නිසාවෙන්ම
අවිහිංසක සිතක දුක

ඉතින් අපි සමුගනිමු
නොවිදවා තවදුරටත්
පවසමින් එක්දෙයක්
අවසන් වතාවටත්

කරුණාකර ආපසු ගන්න
නුබලාම ලබා දුන්
කිසිම වැඩකට නැති
“සර්වජන ඡන්ද බලය”

සැළකිය යුතුයි: ආ මට දැනුයි හරියට ඇහැරුනේ.මම කලින් ලියපුවා ලියලා තියෙන්නේ හීනෙන්ද කොහ්හෙද?නැත්තම් හොඳ සිහියෙන් ලියන්න පුළුවන් එවායැ මේ ලියලා තියෙන්නෙ.මොකද මොනවා කිව්වත් මාත් දන්නවා අපි කවුරුවත් මේ පද්ධතියෙන් ගැලවෙන්න කැමති නෑ කියලා.
මගේ අවසිහි රචනාවට පාඨකයෝ කමා කරත්වා!

Posted in Uncategorized | ප්‍රතිචාරයක් ලබාදෙන්න