ඇත්තටම සුළං කියලා කිව්වට මේක එකවෙලාවකට කුණාටුවක් කියලත් හඳුන්වන්න පුලුවන්.ඒක තීරණය වෙන්නේ අපි මේ දේවල් බාරගන්න විදිහට කියලයි මට හිතෙන්නේ.ඒවගේම අපිට ඕනිනම් පුලුවන් අපේ රුවල් නැව අපිට ඕනි තැනට ගෙනියන්නත් මේකම යොදාගන්න හරි විදිහට සුක්කානම හැසිරුවොත්.එහෙම නැත්තම් රුවල ඔසවලා බලන් ඉඳලා අතරමං වෙන්නත් පුලුවන්.කැමතිනම් ගේ දොර සිසිල් කරන මද නලක් බවට පත්කරගන්නත් පුලුවන්.නැත්තම් ගෙයි තියෙන බඩු භාණ්ඩත් විනාශ කරන චන්ඩ මාරුතයක් කරගන්නත් පුලුවන්.
ඇත්තටම මම මේ මොනවා ගැනද කතාකරන්නේ?මේ ගැන ඔයගොල්ලන්ට යම් අදහසක් ලැබෙන්න ඇති කියලත් මම හිතනවා.මම මේ කියන්න හදන්නේ විදේශ වලින් අපේ රටට ලැබෙන දේවල් ගැන.ඒවා ඇපල්,දොඩම්.මිදි ගෙඩියේ ඉදන් යන්ත්‍ර සූත්‍ර දක්වාවූ භෞතිකමය දේවල් වෙන්න පුලුවන්.ගීතයේ,නවකතාවේ,චිත්‍රපටියේ සිට පාලන යාන්ත්‍රය දක්වාවූ ආගමික,සෞන්දර්යාත්මක,දේශපාලනික,සමාජයීය බුද්ධිමය දේපල වෙන්නත් පුලුවන්.අපි හැමෝම දන්නවා අපේ රටට මේවගේ දේවල් ඕනි තරම් ඉතිහාසය පුරාම ලැබිලත් තියෙනවා,ඉදිරියටත් ලැබෙනවා කියලා.ඇත්තටම අපි මේවා හරියට හසුරවනවද?රටක් වශයෙන් නම් මේවා පිළිබඳ සෑහෙන ගැටලු තියෙනවා.අපේ රටේ පහළ වුන හා පහළ වෙන පාලකයෝ දිහා බැලුවහම නම් රටට එන විදේශ සුළං හරි ආකාරයකට දීර්ඝ කාලයකට හසුරවන්න බැරි වෙන එක අරුමයක් නෙවෙයි.ඒ කියන්නේ රටට හරියාකාර විදේශ ප්‍රතිපත්තියක් නෑ කියන එකනේ.(එක අතකට රටේ දේවල් වලට තියා තමන්ගේ පක්ෂ වලටවත් ප්‍රතිපත්තියක් නැති දේශපාලකයෝ ඉන්න රටක මොන විදේශ ප්රතිපත්තිද?) අපි ඒදේවල් ගැන බලන්න කලින් අපේ ජීවිතය තුළින් කරන්න පුලුවන් දේවල් ගැන කතාකරමුකෝ.
අපි ගොඩාක් වෙලාවට විදේශ වලින් එන දේවලින් උකහා ගන්නේ පොත්ත විතරයි.ඇතුලේ තියෙන සාරය අපි උකහා ගන්නවා හරි අඩුයිනේද?අපි ඇසින් දකිනවා,කනින් අහනවා මිසක් ඒ දේවල් ගැන විමර්ශනය කරනවා හරි අඩුයිනේ.ඉතින් අපි අන්තිමේදි අරගෙන තියෙන්නේ ගන්න ඕනි දේ නෙවෙයි,අපිට නොගැලපෙන (සමහර විට ඒ රට වලට විතරක් ආවේනික ) දේවල් විතරයි.අන්තිමේදි වෙන්නේ මූලික අරමුණට සහමුලින්ම වෙනස් වෙච්ච දෙයක් තමයි අපි අරගෙන තියෙන්නේ.
දැන් බලන්න “Michal Jackson” ගැන.ලියපු ගමන් හැමෝටම මතක් වෙන්නේ “Moon walk” එකයි,”break dance”ගැනයි නේද?ඕනිම කෙනෙක් ඒ ගැනයි ඒ පුද්ගලයාගේ පෞද්ගලික ජීවිතේ හැල හැප්පිලි ගැනයි දන්නවානෙ නේද?ඒත් කී දෙනාද මේ පුද්ගලයාගේ විවිධ තේමා යටතේ කියවුන ගීත වලින් කියවෙන තේරුම ගැන.මේ වගේ පුද්ගල උදාහරණ කොයිතරම් නම් තියෙනවද?Mike Tyson කිව්වහම මතක් වෙන්නේ ප්‍රතිවාදියාගේ කන හපා කාපු අවිචාරවත් Boxing ශූරයා ගැනනේ.ඒත් ඒ පුද්ගලයා එහෙම තත්වයකට පත් වෙන්න හේතු වුන කටුක ළමාවිය ගැන දන්නේ අපි මොනවද?චේ ගුවේරා කියන්නේ පිටරටක විප්ලවයකට සම්භන්ධ වෙලා ජයග්‍රහණය කරලා තවත් විප්ලවයක් කරද්දි ඝාතනයට ලක්වුන එකනේ අපි දන්නේ.ඒත් මොහු දරුණු විදිහට ඇදුම රෝගයෙන් පීඩාවිදිද්දිම කියුබාන විප්ලවය ජයග්රහනයටම මෙහෙයවලා ඊට පස්සෙ ඇමතිකමක් තියෙද්දිත් ස්වේච්චා සේවයේ කම්කරු වැඩත් කරපු වෛද්‍යවරයෙක් කියලා දැන ගන්න ලැබෙන්නේ කීදෙනාටද?
අපි විදේශවලින් ගෙන්නපු වාහන වල,විදේශවලින් ගෙනාපු ඉන්ධන වලින්,ඔවුන්ම පුරුදු කරපු විදිහට වාහන වල ගමන් කළාට ඔවුන්ගේ තියෙන විනය ගරුක රිය පැදවීම පුරුදුවෙලා නෑනෙ නේද?ඇමරිකාවේ දේශපාලන සංස්කෘතියේ ක්‍රියාවන් ටිකක් අහුලන් විවෙචනය කළාට ඔවුන්ගේ රටේ නායකයා වෙන්නේ උපාධිධාරී උගතෙක් කියන එක අපි අමතක කරනවා.පිටින් ආපු FaceBook එකෙ ඇලී-ගැලී ඉන්නගමන් අනිත් අයට අපහාස වෙන.අපහසුතාවයට පත්වෙන,ප්‍රතිරූපයට හානිවෙන ඡායාරූපත් ප්‍රසිද්ධියට පත් කරනවා.අපිව යටත් කරන් හිටිය විදේශිකයන්ගෙන් ඇඳුම්-පැළඳුම්,භාෂාවන්,සංස්කෘතීන්,මධ්‍යසාර උකහා ගත්තාට නීතිගරුක බව,වෙලාවට වැඩකිරීම වගේ හොඳ පුරුදු අරගෙන නෑනේ නේද?
අපි ගොඩාක් වෙලාවට පිටින් එන දේවල මූලික සිද්ධාන්ත ගැන දැනුමක් නැතුවයි ඒවා භාවිතා කරන්නේ.පිටරැටියන් හීතල නිසාම අඳින ඇදුම් අපි අඳින්නේ විලාසිතාවක් කියලා හිතලයි.මෙහේ තියන අව්ව නිසාම අපේ රට වැසියෙක් වුනත් අව්කන්නාඩියක් දාගෙන පාරෙ ගියොත් අපි කියන්නේ ඒ සෝබනේට කියලා.හැබැයි හොටලයක් ඇතුලේ ඒක දාගෙන හිටියොත් ඒ විලාසිතාවක්.මේවගේ තේරුමක් නැති වැඩ අපි කොච්චර කරනවද?අපි අපේ ගෙවල් ඇතුලේ ඉදන්ම කුණාටුවකට අහුවෙලාද?එහෙම නැතුව අපි කරන දේවල් තේරුමක් ඇතුව කරමු නේද?පිටරටින් එන නිසා සියලුම දේවල් හිතකර වන්නේවත් අහිතකර වන්නේවත් නැත.ඒවා එසේ වන්නේ අපි ඒ දේවල් බාරගන්න ආකාරය අනුව කියලයි මට හිතෙන්නේ.
ඉතින් අපි ශක්තිමත් වෙමු.අපි සමාජයට බිය විය යුත්තේ වැරදි කරනවානම් පමණි.අපි කරන දේවලින් තමන්ටවත්,අනුන්ටවත් කරදරයක් නොවේනම් අපිට අවැසි දේ කරමු.අපිට ගැලපෙන විදිහට හැඩගසාගමු අපේ ජීවිතය.
පින්ග්කිරීම: විදේශීය සුළං….