මහින්ද මැතිඳුනි ඔබේ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න…

මහින්ද මැතිඳුනි ඔබගේ පාලන කාලය තුළ මෙන්ම ඔබගේ පරාජයෙන් පසුවත් ඔබ විසින් දේශපාලන සිරකරුවන් වශයෙන් විශාල පිරිසක් සිර කරගෙන සිටින බැව් මම දනිමි.ඔවුන්ගේ දෑතට,දෙපයට විලංගු දමා නැති බව සත්‍ය්යකි.නමුදු ඔවුන්ගේ මනසට දමා ඇති විලංගු ඊටත් වඩා දරුණු විදිහට ඔවුන්ගේ නිදහස සීමා කර ඇත.ඊටත් වඩා භයානක කාරණය නම් ඔවුන්ගේ නිදහස සීමා වීමෙන් ඔවුන් පමණක් නොව ඔබගේ සිරකරුවන් නොවන අයත් විඳවීමයි.එය මේ පරම්පරාවෙන් අවසන් වේ යැයි නොසිතන්න.එය ඉදිරි පරම්පරා ගනනාවකටත් උරුම වනු ඇත.ඔබේ දේශපාලන සිරකරුවන්හට අන් කිසිම කෙනෙක් කරන හොඳ දෙයක් කිසි ලෙසකින් වත් නොපෙනෙන අතර වැරදි නම් බොරුවටත් පෙනෙයි.ඒ අතර රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙමින් කොටි සංවිධානය නැගී සිටිනකම් බලා සිටින මොවුන්,දැන් දිගු කලක සිට විදේශයන්හි සිදුවන කොටි හිතවාදී ක්‍රියාකාරකම් අතිශෝක්තියට නංවමින් ඒවාට ප්‍රසිද්ධියක් ලබාදේ.රට තුල නැවතත් භීතිය,සැකය,අසහනය ගොඩනැංවීමට උත්සාහ දරමින් සිටියි.මොවුන් නොදැනුවත්වම මොවුන් මේ වැටී සිටින තත්වයෙන් මුදවා ගත හැක්කේ ඔබට පමණි.ඔබේ වචන වලින් වලින් ඔබට ඒ ආශ්චර්යය කළ හැකිය.ඔවුන්ගේ බැමි මුදාහළ හැකිය.ඔවුන්ට තමන්ගේ දෙනෙතින් බැලීමට,තමන්ගේ දෙකනෙන් ඇසීමට,තමන්ගේ මනසින් සිතා තමන්ගේ වචනයෙන් කතාකිරීමට නැවතත් හුරු කළ හැකිය. (මෛත්‍රී මැතිඳුන් ඒ සඳහා උත්සාහ කළත් ඔහුව පඹයෙක් මෙන් පෙනේ යැයි කියමින් මොවුන් ඔහුට ඇහුන්කන් දීමත් ප්‍රතික්ෂේප කරයි.) ඒ සඳහා කළ යුත්තේ ඔබ ඇත්ත ප්‍රකාශ කිරීම පමණි.
ඔබ පවසන්න ඔවුන්ට (ඔබේ දේශපාලන සිරකරුවන්ට )
ඔබ මල් වට්ටි වලට මුවාවී දැන් පංසල් යන්නේ පින් රැස් කරගන්නවත්,ඔවුන්ට ස්තූති කිරීමටවත් නොව,ඔවුන්ව රවටා නැවත මොන ආකාරයක හෝ තනතුරක් ලබාගැනීමේ බල ලෝඹ්හය නිසා බව.ඔවුන්ව අවශ්‍ය් බලය ලබාගන්න තෙක් පමණක් බව.ඔවුන්ට කළ ගුණ සැලකීම මතක් කරමින් 2010 බලය ලබාගත් පසුව මුලින්ම ඔබට යාවජීව ජනාධිපති තනතුරක් හදා ගැනීමට වෙහෙසුනා මිසක් ඔවුන් ගැන වෙහෙසුනේ නැති බව.වීරවංස ලව්වා 2010 ජනාධිපතිවරණය වෙලාවේ ජෙනරාල්ට ඡන්ද බලය නැති නිසා ඔහුට දෙන ඡන්දය වලංගු නැතැයි අමුම අමු බොරුවක් කීවේ බලලෝභීකම නිසාබව,මවලා පෙන්වන තරම් පෞර්ෂයක් ඔබට නැති නිසා බව.ජෙනරාල්ව ද්‍රෝහියෙක් කළේ අනාගත අභියෝගයක් නිසා බව.2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රී ලෙසටම හැඩගැන්වූ සිරිසේන කෙනෙක් සමඟ ඡන්දපළට ගියේ අවසන් මොහොතේදී හෝ ඔවුන් රැවටීමට බව.සජිත් පැතිමාරු කළායැයි රාජ්‍ය මාධ්‍ය වලින් ප්‍රකාශ කෙරෙව්වේත් ඒ සඳහා බව.ඔබ පවසාවියැයි කිසිවෙකු නොහිතූ වගකීම් විරහිත පහත් කතා ඡන්ද වේදිකාවල පැවසූයේ බල උමතුව නිසා බව.ශිරාණි මැතිනියගේ තනතුර අහිමි කළේ සහෝදරයාගේ පණතක් නිසාබව.කොළඹ නගරය ලස්සන කිරීමේ ව්‍යාපෘතිය සමඟම වේල්ලවීදිය කච්චේරියේ පැරැණි ඔප්පු සහිත ගොඩනැගිල්ල ගිනිගත්තේ අහම්බයෙන්මද නැද්ද කියන වග.ස්වාධීන කොමිෂන් සභා හකුලා දැමූයේ ඔවුන්ට ආදරේට නොවන වග.ඔබම ලඟකදි පැවසූ පරිදි ඔබ බලපෑම් කරමින් නිදහස් කළේ,දඩුවම් නොදුන්නේ තම පැලැන්තියේ අයට මිස ඔවුන්ගේ පැලන්තියේ අයට නොවන බව.තමන් අතේ බලය තිබෙද්දී වැරදි කරුවන්ට දඩුවම් නොකිරීම,ඔවුන්ව ආරක්ෂාකිරීම දුර්වල පෞර්ෂ ලක්ෂනයක් බව.අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ගැන කියමින් සිටියාට විදේශ තානාපති සේවයට නුසුදුස්සන් යොදවමින් දුර්වල වීම නිසා රටට ප්‍රශ්න රාශියකට මුහුන දීමට සිදුවූ බව.
මේ සඳහන් කළ ඇත්ත ස්වල්පය හැරුනුවිට ඔබට පැවසන්න ඇති ඇත්ත ඕනෙ තරම් ඇතිබව මගේ හැඟීමයි.රට වෙනුවෙන් විදුලි පුටුවට වුවත් යන්න ලෑස්ති වූ ඔබ රටේ අනාගතය වෙනුවෙන් මේ දේ කරන බව මගේ විශ්වාසයයි.
අපිට දැන් අවශ්‍ය වෙනස් දේශපාලන සංස්කෘතියක්.හරි දේට හරි යැයි කිවහැකි,වැරදි දේට වැරදියැයි කිවහැකි කොන්දක් සහිත නායකයින්ටත් වඩා වැදගත් වනුයේ සාමාන්‍ය ජනතාවක් බිහිවීමයි.එමනිසා රට මේ ලැබී ඇති අනර්ග අවස්ථාවේ ඔබ විසින් ඔබගේ දේශපාලන සිරකරුවනුත් නිදහස් කළහොත් අපි සැමට ඇත්තටම දියුණු සමාජයකට පියනැගිය හැකි වේවි.මේ රට ඔබේ වගේම අපගේත් රටයි.රට දියුණු වීමට හැමෝගෙන්ම ඉටුවිය යුතු යුතුකම් තිබේ.ඉතින් මම මගේ යුතුකම් ඉටුකරන අතර ඔබත් ඔබේ යුතුකම ඉටුකර ඔබේ පුත්‍රයන්ටත් දියුණු සමාජයක ජීවත් වීමේ අවස්ථාව ලබා දේ යැයි විශ්වාස කරමි.
මහින්ද මැතිඳුනි ඔබේ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න…

This entry was posted in Uncategorized. Bookmark the permalink.

2 Responses to මහින්ද මැතිඳුනි ඔබේ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න…

  1. රාජ් පවසයි:

    ඔබේ දැක්ම විශිෂ්ඨයි. මහින්ද ලඟ ඉන්නව සෑහෙන්න දේශපාලන සිරකරුවන්.

MLS වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න