ගරු ගරු ගරු..හැමෝම ගරු..කරයි සුදුස්සන්ට නිගරු…

දැන් අපේ රටේ ගරු තුමන්ලා වැහි වැහැලා.උත්සවයක් ගත්තොත් ඔය වචනයෙන් කී දෙනෙක්ව ආමන්ත්‍රණය කරනවාද?දේශපාළුවන්ව නම් අනිවාර්යඉ.හබැයි මටනම් හිතෙන්නේ පුරුද්දට එහෙම ආමන්ත්‍රණය කළාට ඒ ආමන්ත්‍රණයේ නියම තේරුම බොහෝදෙනෙක් නොදනවයි කියලා.විශේෂයෙන්ම “ගරු” කියන ආමන්ත්‍රණයේ.සාමාන්‍යයෙන් ගරු කටයුතු වැඩ කරන අයටයි ගරු කියන නම්බු නාමයෙන් ආමන්ත්‍රණය කරන්නේ.එතකොට ගරු කටයුතු වැඩ කියන්නේ මොනවාද?කිසිදු වරප්‍රසාදයක්,වැටුපක්,මුදලක් බලාපොරොත්තුවකින් තොරව ස්වේච්ඡාවෙන් කරන කටයුත්තක්, දරණ තනතුරක් තමයි සාමාන්‍යයෙන් ගරු කටයුත්තක් කියලා හදුන්වන්නේ.ගමක,කාර්යාලයක සුබසාධක සමිතිවල තනතුරු දරන්නවුන් ගරු කියලා හදුන්වන්නේ ඒකයි.ටෙලිනාටකවල පොඩි දර්ශනයක නොමිලේ පෙනී හිටින්නවුන් තමයි නාමාවලියේදි “ගරුරඟපෑම්” විදිහට හදුන්වන්නේ.එතකොට අපි දැන් කල්පනාකරලා බලන්න ඕනි පුළුවන්තරම් වරප්‍රසාද ලබාගන්න,වැටුප් ගන්න ඇමති,මන්ත්‍රී,සභාපති ආදීන්ගේ සිට වැටුප් ලබාගෙන කිසියම් කාර්යයක් කරන කිසිවෙකුටවත් “ගරු” කියන ආමන්ත්‍රණය ගැලපෙනවද කියලා.ඒක ගැලපෙන්නෙ නෑ නේද?ඒ අයට එහෙම ඇමතීමෙන් වෙන්නේ නියම ගරු කටයුතු වැඩකරන පූජ‍ය පක්ෂය,ස්වේච්ඡා සේවකයින් ආදී නියම උත්තමයන්ට නිගරු කිරීමක් කියන එකයි මගේ අදහස.පාර්ලිමේන්තුව ඇතුළෙදි පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව මන්ත්‍රීවරුන් “ගරු මන්ත්‍රී” කියලා අමත ගත්තට එයින් පිටතදි ඔවුන් “ගරු” වෙන්න විදිහක් නැහැ.
අනිත් එක තමයි “තුමන්” කියන ආමන්ත්‍රණය.ඒකේ තේරුම “උතුමන්”කියන එකනේ.උතුම් වැඩකරන්නවුන් උතුමන් වෙයි.ස්වාර්ථයට වඩා පරාර්ථය ගැන හිතනවුන් උතුම්වැඩකරන්නවුන් වෙයි කියන එකයි මගේ අදහස.ඒනිසා දැන් මේ කරන ආමන්ත්‍රණවලින් නියම උතුමන්ට කරන්නේ කොයිතරම් අපහාසයක්ද?
අන්තිමට මට කියන්න තියෙන්නේ එක එකාට ගැතිවෙලා, වරප්‍රසාද ලබාගැනීමේ අරමුණින් කොතනදි කවුරු කොහොම කාව ඇමතුවත් අපි හොඳ සිහියෙන් කල්පනාකරලා බලලා තේරුම් අරගන්න ඕනි ඇත්ත.ඒවගේම අපි අපේ අනාගත පරපුරටත් ඒක තේරුම් කරලා දෙන්න ඕනි.එහෙම නැතිවුනොත් ඔවුන්ටත් අපිට වගේම කලු ගල් පාවෙන.ගොම රිටි යටයන සමාජයක ජීවත් වෙන්න වෙයි.
එන්න අපි මේ ප්‍රෝඩාකරී සමාජයෙදි වසන් කරන්නට උත්සාහ කරන සත්‍යය දකිමු.

Advertisements
Posted in Uncategorized | ප්‍රතිචාර 2

විදුලි බිල වැඩිවෙලා..යථාර්තය දකිමු…

විදුලි බිල වැඩිවෙලා..මේක තමයි මේ දවස්වල ප්‍රසිද්ධම මාතෘකාව අපි හැමෝම අතර.”ආණ්ඩුව බොහොම අමාරුවෙන් ගත්ත තීරණයක්,ආණ්ඩුව ඇතුලේ හිටියට අපේ පක්ෂය ඕකට විරුද්ධයි,කලින් ආණ්ඩු වල වැරදි,කලින් ඇමතිගේ වැරදි,ඊළඟ වසරේ අඩුකරනවා..” ආදී වශයෙන් දේශපාලුවන්ගේ කටමැත දෙඩවීම් ජන(අප්‍රිය )මාධ්‍ය වලින් ඕනි තරම් ඇහෙනවා.ඒවගේම අපි අපිත් මේ ගැන ඕනි තරම් කතාකරනවා.මේ බිල වැඩිකිරීමේ අසාධාරණකම ගැන,සාමාන්‍ය මට්ටමෙන් විදුලි පරිඹ්හෝජනය කරන අයගේ බිල වැඩිවීමේ ප්‍රතිශතයේ අසාමාන්‍ය බව ගැන ඕනි තරම් කතාකරනවා.හැමෝගෙම වගේ අදහස මේ බිල වැඩිවීම අසාධාරණයි,මේක දරාගන්න බැහැ,මේක අඩුකළ යුතුයි කියන එකයි.
අපි මේ බිල වැඩිවීම දිහා යථාර්තවාදීව බලමු.අපි මුලින් කල්පනා කරන්න ඕනි ඇයි මේ බිල වැඩිකරන්නේ කියලා.විදුලිබල මණ්ඩලයෙන් හරි සරල පිළිතුරක් දෙයි පාඩුව නැතිකරගැනීමට කියලා.ඔවුන්ගේ පැත්තෙන් ඒක හරි.පාඩුවට ආයතන පවත්වාගෙන යන්න ඕනි නැහැ තමා.අන්න එතකොට ඔබ මගෙන් ප්‍රශ්න කරන්න පුළුවන් ජනතා සුබසෙත වෙනුවෙන් ආණ්ඩුවේ ආයතන පාඩුවින්දට කමක් නැහැ නේද කියලා.ඒකත් හරි.ඒත් එක්කම එන ප්‍රශ්නයක් තමා අපි වගේ රටකට එහෙම පාඩු දරාගෙන යන්න තරම් ශක්තියක් තියෙනවද කියලා.පැහැදිලිවම ඒකටනම් නෑ කියලයි කියන්න වෙන්නේ.ආණ්ඩුවට අවශ්‍ය ආයතන විතරක් ඔවුන්ගේ නාමය උදෙසා පාඩු දරාගෙන පවත්වාගෙන යනවා තමයි.ඒ හැර අපි ඇස් ඇරලා බැලුවොත් අපිට පෙනේවි ජනතාවට අවශ්‍ය දේවල් වෙනුවෙන් කැපවෙන පාලකයින් හිටියෙත්,ඉන්නෙත් අපේ හීන ලෝකවල විතරයි කියලා.මොන දේශපාලු පක්ෂයෙ වුනත් සිටින්නේ රටට හිතැති අය කියන හීන ලෝකයෙන් මිදෙන්න හොඳ අවස්ථාවක් විදිහටයි මමනම් මේ විදුලිබිල වැඩිවීම දකින්නේ.මේ රටට වැඩියෙන්ම විදේශ විනිමයක් ලැබෙන්නේ මැදපෙරදිග වහල්සේවයට ගිය අයගෙන්නේ.ඊළඟට නිමි ඇදුම් හා යටත්විජිත වාදයෙන් උරුමවෙච්ච තේ,රබර් වලින්.එහෙම බලනකොට අපිට අනන්‍ය වෙච්ච දෙයක් නෑ.කෘෂිකාර්මික රටක් විදිහට ගොඩනැගුනු අපේ රටේ අද ගොවියන්ට අස්වැන්න විකුනගන්න බැහැ.අපිට තියෙන්නේ සාඩම්බර ඉතිහාසයක් විතරයි.වර්තමානයක්,අනාගතයක් නෑ.ඇත්ත තිත්තයි තමා.ඒත් අපිට කොයි මොහොතක හරි ඇත්ත පිළිගන්න වෙනවා.මුළු ලෝකෙටම ණය වෙවී,ඒ ණය දෙන රටවලට,ආයතනවලටම සිංහලෙන් බැන බැන මෝඩ වීරකම් වලින් මේ යථාර්තය වහගෙන ඉන්න බැහැ හැමදාම.අපිට හැකියාව තියෙන්න ඕනි බොරුව විනිවිද සත්‍යය දකින්න.වංචාව,දූෂණය,කොමිස්,පගා සමාජයේ හැම තැනකම,හැම මට්ටමකම වගේ පැතිරිලා.නුසුදුස්සන් තනතුරුවලට පත්කරගෙන අනියම් වාසි අත්විදීම් ඕනිතරම්.මේවා ගැන ලියනවනම් ඕනිතරම් දේවල් තියෙනවා ලියන්න.ඒත් ඒකෙන් වෙන්නේ අපේම හිත් කලකිරෙන එක විතරයි.
මම කියන්නේ මේකයි මේ දූෂිත පාලන ක්‍රම තුල විදුලිබිල වැඩිකරනවා කියන්නේ එක සිද්ධියක් විතරයි.ආයතන තුල වෙන වංචා,හොරකම්,සේවක අතිරික්තයන් ආදී හැම දෙයක්ම මේ මිල ඉහල යාම් කෙරෙහි බලපානවා කියන එක අපි හැමෝමත් දන්නවානේ.සෘජුව හෝ වක්‍රව මේ පාඩු දරාගන්න වෙන්නේ අපිටම තමයි.එක්කො සෘජුව මේක ගෙවන්න ඕනි,එහෙම නැත්තම් බදු විදිහට මේවා ගෙවන්න ඕනි අපිම තමයි.පාලකයින් හා ඔවුන්ගේ හිතවතුන් මේ හැම දෙයින්ම නිදහස්වෙනවා කියන එකත් අපි හැමෝම දන්නවනේ.
ඉතින් මම කියන්නේ මෙච්චරයි එන්න යථාර්තය දකින්න.අපේ රටට වෙලා තියෙන දේ අවබෝධ කරගෙන “තමන් හිසට තම අතමය සෙවනැල්ල” කියන එක මතක තියාගෙන තමන්ගේ ශක්තියෙන් නැගීසිටිමු.

Posted in Uncategorized | ප්‍රතිචාරයක් ලබාදෙන්න

දකින නොදකින ජීවිතය

ජීවිතේ සංකීර්ණ වෙනකොට අපි ගැඹුරු ඉලක්ක කරා යනකොට අපිට අවට තියෙන පොඩි පොඩි දේවලින් දකින්න,ලබන්න තියෙන සුන්දරත්වය අපි නොදැනීම අපේ ජීවිත වලින් ඈත්වෙල යනවා.මේ ඡායාරූපය දිහා බලන්න.මේ සුන්දර මල එකපාරටම හදුනාගන්න බැහැ නේද?

Picture 047

ඒත් මේක මේ අපි නිතර දකින මලක්.දෙහි නාරං කියලා අපි හඳුන්වන ගහේ මලක් තමා මේක.මේකෙන් මම කියන්න උත්සාහ කරන්නේ අපි හැමදාම දකින දේවල වුනත් අපි නොදකින සුන්දරත්වයක් තියෙන්න පුළුවන්.ඒ සුන්දරත්වය අත් විඳින්න නම් අපි යමක් දිහා බලන ක්‍රමය පොඩ්ඩක් විතර වෙනස් කරන්න විතරයි ඕනි.අපි හැමදාම කරන කාර්යාල කටයුතු වුනත් අපි වෙන කෙනෙකුගේ කෝණයෙන් බැලුවොත් වෙනස් විදිහට පෙනේවි.අපිට අපේ අඩුපාඩුත් පෙනෙයි එතකොට.Picture 048

Posted in Uncategorized | ප්‍රතිචාරයක් ලබාදෙන්න

කාලය කොයිතරම් වටිනවද?

අද 2013 අවුරුද්දේ පළමුවෙනි මාසයේ හත් වෙනි දවස.දිනදර්ශනය අළුත්වෙලා දවස් හතකුත් ගෙවිලා ගිහින්.ඒත් දැනෙන්නේ අද ඊයේ වගේ.එහෙම දැනුනාට කාලය අපි කවුරුවත් වෙනුවෙන් නතරවෙන්නේ නැති නිසා කාලය ගතවෙලා අපිට නොදැනීම.අපි අපේ සිතුවිලිත් නැවුම් කරගන්න උත්සාහ දරන අතරේම අපි කාලයේ තියෙන වටිනාකම ගැනත් හිතලා බලමු නේද?ඇත්තටම මේක සරලව හිතලා බලලා ඉවත දැමිය හැකි කාරණයක් නෙමෙයි.ගැඹුරින් හිතන්න ඕනි.

අපි බහුතරයක් බොහොම කැමැත්තෙන් බලපු සිනමාපටයක්නෙ “IN TIME” කියන්නේ.ඒකෙන් කියවෙන්නෙත් අනාගතයේදී මුදල් වලටත් වඩා කාලය වටිනබව නේද?ඒක ඇත්තමද?කාලය කොයිතරම් වටිනවද?කාලයෙන් හරියට ප්‍රයෝජනයක් ගන්න කෙනෙකුට මේ ලෝකේ තියෙන හැම සැපසම්පතකටම වැඩිය කාලය වටිනවා.අපි මුදලුත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් අපිටම හිතාගන්න පුළුවන් වැඩියෙන්ම වටින්නේ මොනවාද කියලා.මුදල් අපිට අපේ ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය මූලික අවශ්‍යතා ඉටුකරගැනීමේ සිට සුව පහසු ජීවිතයක් ගතකිරීම දක්වාම අවශ්‍ය වෙනවා.ඒ වෙනුවෙන් අපි කාලය වැය කරමින් මුදල් එකතුකරනවා,ඉතුරු කරනවා,ආයෝජනය කරනවා.අපි අද මුදල් බැංකු ගිණුමක(විශ්වාසනීය බැංකුවක ) තැන්පත්කළොත් අපිට අවශ්‍ය කාලයකදි ඒ මුදල් වර්ධනය වෙලා ලබගන්න පුළුවනි.අපි ඉඩමක් මිලදී ගන්න ආයෝජනය කළොත් ටික කාලයකින්ම ඉඩමේ වටිනාකම වැඩිවෙනවා.නමුත් අපිට කාලය අනාගතයේ ප්‍රයෝජනය උදෙසා කියලා එහෙම ඉතුරුකරලා තියාගන්න විදිහක් නැහැ.කාලය ගෙවිලා යනවා මිසක් නවතාගෙන එක් රැස්කරගන්න බැහැ සිනමාපටයේ වගේ.අපිට කරන්න පුළුවන් එකම දේ ගතවෙන හැම මොහොතකම,තත්පරයකම  කාලයෙන් උපරිම ප්‍රයෝජන අරන් ජීවත්වෙන්න උත්සාහ කරන එකයි.තමාගේ ජීවිතෙ යහපැවැත්ම උදෙසායහපත් දෙයක් කිරීමට උත්සාහ දැරීමයි.එහෙම නැතිවුනොත් අපිට අනාගතයේදී ඉතුරුවෙන්නේ පසුතැවිල්ලක් විතරයි.අපි කාලය නිවැරදි දේකට යොමු නොකෙරුවොත් අන්තිමට අපිට අනාගතයේදි ජීවත්වීමට ලැබෙන කාලයෙනුත් ප්‍රයෝජනයක් නතුවයන්න පුළුවන්.උදහරණයක් විදිහට අපි දැන් කරන වැරදි ක්‍රියා නිසා අනාගතයේදී අපි ඔත්පලව ඇඳට වැටිලා කිසිවක් කරකියා ගන්න බැරි තත්වයකට පත්වුනොත් අපිට අපේ කාලය රන් නෙමේ බොරලු කැටයක් තරම්වත් නොවටින්න පුළුවන්.එතකොට කාලය කියන්නේ ඉර නැගීම,බැසීම කියන වෙනස විතරයි කියලා දැනෙන්න පුළුවන්.

ඒනිසා අපි මේ මොහොතේ සිටම කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කරමු.ඔබ සැමට සුබ නව වසරක්ම වේවා!

Posted in Uncategorized | ප්‍රතිචාරයක් ලබාදෙන්න

සහජීවනය

කෘමීන් පළවා හරිතියි කීවත් මට රොන් උරාබොන්නට කුමන බාදාවක්ද?

Posted in Uncategorized | ප්‍රතිචාරයක් ලබාදෙන්න

විවේචනය හරි ලේසියි! එතකොට ප්‍රශංසාව….

අපි හැම කෙනෙක්ම හරිම ලේසියෙන් කරන දෙයක් තමා අනුන්ව විවේචනය කරන එක.ඔබ,මම ඇතුලුව අපි හැමෝම වගේ මේ දේ කරනවා ගොඩාක් වෙලාවට.කාර්යාල සගයන්ගේ,යාළු මිත්‍රයින්ගේ,පවුලේ අයගේ සිට රටේ ආණ්ඩුව විතරක් නෙමෙයි අනිත් රටවල් වල කටයුතු දක්වා ගොඩාක් දේවල් අපි විවේචනය කරනවා.මුහුණටම කියනවාට වඩා නැති තැනදි විවේචනය කිරීමයි අපි බහුතර වෙලාවල් වලදි කරන්නේ.අවංකවම යම් පුද්ගලයෙකුගේ වැරදි හදාගන්න උදව්වක් වෙන්නනම් ඒක ඒ පුද්ගලයාගේ මුහුණටම කියන එකයි නිවැරදි විදිහ.එහෙම නතුව වෙන වෙන අයත් එක්ක කියලා කේලාන් මාර්ගයෙන් ඒ පුද්ගලයාට අහන්න සලස්වන එක එච්චර හොඳ නෑ.අනිත් කාරණේ තමයි අපිට වගේම අන් අයටත් ඔවුන්ගේ ජීවිත ඔවුන්ට රිසිසේ,නිදහසේ ගතකරන්න අයිතියක් තියෙනවනේ.අපි ඒ අයිතියටත් ගරුකරන්න ඕනිමයි.ඉතින් ඒනිසා අපි අන් අය ගැන ඕනිවට වඩා කරදර වෙන්න ඕනි නැහැ.යම් කෙනෙකුගේ ක්‍රියාවන් නිසා ඔහුටත් සමාජයටත් හානිදායක යමක් වෙනවනම් ඒක පෙන්නලා දීලා අපේ වැඩක් කරගෙන ඉන්නවා මිසක් අනුන්ගේ කරදර ඔලුවේ දාගෙන විඳවන්න ඕනි නැහැනේ.
කොහොමවෙතත් සාමාන්‍යයෙන් අපි ඕනිම කෙනෙකුට හොඳට වඩා මතක තියෙන්නේ නරකනේ.කියමනකුත් තියෙන්නේ
Do something right.no one remembers
Do something wrong,no one forgets   කියලා.ඒත් අපි ආඩම්බරයෙන් කියාගන්නවා වගේ අපි ජීවත්වෙන්නේ 21වෙනි සියවසේ දියුණු ලෝකෙක නම් අපේ ආකල්පත් දියුණු විය යුතුමයි.ඉතින් අපි මේ කියමන් වෙනස් කරන්න ඕනි කාලය ඇවිල්ලා.අනුන්ගේ වැරැද්දට වඩා ඔවුන්ගේ නිවැරදි දේ දකින්න පුරුදු වෙමු.ඒකට ප්‍රශංසා කරන්න අමතක නොකරමු.තමා තමන්ව උපමා කරගෙන බැලුවොත් අපි හැමෝම කැමති අපේ හොඳක් අනිත් අය කියනවා අහන්නනේ.ඉතින් අපි අන් අයටත් ඒ දේම දැනෙන්න උත්සාහ කරමු.පොඩි වචන පෙළකින් ලොකු සතුටක් ලබා ගන්න,ලබා දෙන්න උත්සාහ කරමු අපි දැන් ඉඳන්ම.උඳු වපුරලා මුං බලාපොරොත්තුවෙන්න බෑ වගේ තමන් කරන දේ අනුව තමයි ප්‍රතිඵලයත්.ඒනිසා අපි සතුට වගා කරලා සතුටම නෙළා ගන්න උත්සාහ කරමු.
මමනම් දැන් ඉඳන්ම ඒකට උත්සාහ ගන්නවා.ඔබත් ඒ උත්සාහයට එක් වෙනවාද…?

Posted in Uncategorized | ප්‍රතිචාර 2

මාස 5ක් ඉවරයි!!! ඔබ ඉලක්ක කරා ළඟාවෙලාද?

අද දෙදහස් දොළහ අවුරුද්දේ පස්වෙනි මාසේ අන්තිම දවස.ඒ කියන්නේ 2012-05-31.මේ අවුරුද්දේ තියන මාස 12න් මාස 5ක් මේ වෙද්දි ගෙවිලා ඉඅවරයි.දින වලින් නම් මේ අවුරුද්දට අයිති දින 366න් දින 152ක් ගෙවිලා ඉවරයි.අවුරුද්ද මුලදී අපි හුඟක් දෙනා මේ අවුරුද්දේ කරනවා කියලා යම් යම් අරමුණු, ඉලක්ක, බලාපොරොත්තු ඇතිකරගන්නවානේ.දැන් අපි ඒවායේ ප්‍රගතිය ගැන පසු විපරමක් කරන්න සුදුසු කාලය ඇවිල්ලා තියෙන්නේ.මොකද දැන් 5/12ක කාල කොටසක් ගෙවිලා ඉවරයිනේ.අපිට තව ඉතුරු වෙලා තියෙන්නේ 7/12ක කාලයක් විතරයි අවුරුද්ද අවසානයට.අපේ අරමුණු අතර අවුරුද්ද අවසාන වෙද්දි මේ මේ දේවල් කරගන්නවා වගේම අවුරුද්දේ නියමිත කාලයක් වෙද්දි මේ ඉලක්කය සපුරාගන්නවා කියන අදහසුත් තියෙනවනේ.ඉතින් අපි දැන් පොඩ්ඩක් හිතලා බලමු අපි අපේ ඉලක්කවලට කොයිතරම් ළංවෙලාද කියලා.ඒවා ඉටුකරගෙනනම් හරි ඒ මාර්ගයට යොමුවෙලානම් හරි අපිට සතුටුයි.ඒත් ඒවා ඉටුකරගන්න මේ වෙනකම් බැරිවෙලා කියලා අධෛර්යමත් වෙන්නත් එපා.උත්සාහය අතහරින්නත් එපා.අපි අද ඉදන් මේ මොහොතේ ඉදන් ආයෙම ඒ ඉලක්කය වෙත ළඟාවෙන්න අධිෂ්ඨාන කරගමු.යම් යම් බාධක නිසා අපි අපේ අරමුණෙන් ඉවත් වෙලානම් අපි ඒ බාධක ගැන තේරුම් අරගෙන අපේ අරමුණු ජයගනිමු.මිනිස්සුන්ට බාධක ඇතිවෙන එක ස්වභාවිකයි වගේම ඒ බාධක ජයගන්නත් මිනිස්සුන්ට පුළුවන්.
ඔබ සැමට සුබ අනාගතයක් ඔබේ උත්සාහයෙන්ම ලැබේවා!!!

Posted in Uncategorized | එක් ප්‍රතිචාරයක්